විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට දුන්න පොලිස් නිලධාරීයාට වැඩ වරදී

විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට දුන්න පොලිස් නිලධාරීයාට වැඩ වරදී

October 11, 2018   08:54 am

යාපනය දී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පළායාමට උපකාර කළ බව පවසන එවකට යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.ජුඩ්සන් මහතා නියෝග කරනු ලැබීය.

ඊයේ(10)  මෙම නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

විද්‍යා ඝාතන සැකකරුවන්ට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලැබ තිබෙන උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධ නඩු විභාගයට ගත් අවස්ථාවේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා පොලීසිය වෙත එලෙස නියෝග කෙරිණ.

විද්‍ය ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වු ස්විස්කුමාර් නමැත්තා ඇතුළු පිරිස වෙත පළා යාමට උපකාර කළ බව කියන සිද්ධියේදී ශ්‍රිගජන් නමැති උප පොලිස් පරීක්ෂකවරයා අදාළ පිරිස් වෙත උපකාර කොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.

ශ්‍රිගජන් නිලධාරියා අදාළ සිදුවීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර, සැකකාර ‍උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලීසිය අධිකරණයට පැවසීය.

නඩු විභාගය එළැඹෙන ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, නඩු විභාගයට අදාළ නීතිපති උපදෙස් විමසීමට නියමිත බවද මහේස්ත්‍රාත්වරයා දැන්වීම් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවයි.