රැක දුන් පනස් වන මිනිස් ජීවිතය

රැක දුන් පනස් වන මිනිස් ජීවිතය

September 24, 2018   08:51 pm

රංගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරස්ථ භූමියේ පිහිටි පන්සලේ වැවේ දියනෑමට ගිය තරුණයකුගේ ජීවිතයක් බේරා ගැනීමට දඹුල්ල ජලක්‍රීඩා හා පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ  නිලධාරීන් කණ්ඩායමකට අද(24) හැකියාව ලැබී තිබේ.

මෙසේ දිවි බේරාගෙන ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සිට රන්ගිරි දඹුළු රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බව කියන එස්.මහේෂ් නැමති 18 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය කියයි.

හෙට(25) දින මෙම වැවේ පිහිනුම් තරගයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් ජිවිතාරක්ෂක සාමාජිකයින් එහි රාජකාරියේ යෙදී සිට තිබේ. 

ඒ අවස්ථාවේදී වන්දනාවේ පැමිණි පිරිස් දියනාමින් විනෝද වෙමින් සිට ඇති බව පොලීසිය කියයි. 

බෝට්ටුවක රැඳී සිටිමින් පිහිනුම්  ක්‍රීඩාව සඳහා අවශ්‍ය පරිසරය සූදානම් කරමින් සිටි ජිවිතාරක්ෂක නිලධාරියෙකු මෙම තරුණයා දියේ ගිලෙන දැක වහාම ක්‍රියාත්මක වී ජීවිතය බේරාගෙන ගොඩට ගෙන විත් ඇත.

දඹුල්ල  මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් ජීවිතාරක්ෂක උපදේශක පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා ඇතුළු ජිවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවේ පන්සලේ රාජකාරි කටයුතුවල නිරත ව සිට තිබේ.

දියේ ගිලීමට ලක්වූ තරුණයා කියා සිටියේ තමන් එම ස්ථානයෙන් පිහිනා ගිය බවත් පසුව අඩිය තියා ගැනීමට නොහැකිව දියේ ගිලුණු බවයි. 

ඔහුගේ ජීවිතය බේරාගත් දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ජල ක්‍රීඩා සංගමයේ සාමාජික ඉන්දික කුමාර මහතා  කියා සිටියේ එක වැරම එම පුද්ගලයාගේ ඉගිලෙනු දැක පසුව වහාම ක්‍රියාත්මකව ඔහුගේ ජීවිතය බේරා ගත් බවයි.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රගමරත්න මහතා කියා සිටියේ මෙම පිහිනුම් තරගය සූදානම් කිරීම නිසා දැයට අහිමි වීමට ගිය ජීවිතයක් බේරා ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවයි. 

බීමතින් මෙවැනි ස්ථානවල දියනෑමට එන සංචාරකයන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් බීමතින් දිය නෑමට නොයන ලෙසත් තමන් අවවාද කරන බව ද සඳහන් කළේය.

දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් එක්ව බේරාගත් පනස් වන ජීවිතය මෙය වීමද විශේෂත්වයකි. 

පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම ජීවිතාරක්ෂක සාමාජිකයෝ දඹුල්ල කණ්ඩලම ඉබ්බංකටුව රන්දෙනිය මොරගහකන්ද ජලාශය පන්සලේ වැව ආදී ස්ථානවල සේවයේ නිරත වී තිබේ.