ආන්දෝලනාත්මක භෝජන සංග්‍රහයක් ගැන හෙළිදරව්වක්

ආන්දෝලනාත්මක භෝජන සංග්‍රහයක් ගැන හෙළිදරව්වක්

September 24, 2018   07:18 pm

ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ජිනීවාහි එල්.ටී.ටී.ඊ.හිතවාදීන්ට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකීය සංසදය අද(24) අනාවරණ කළේය.

මේ බව ප්‍රකාශ කෙරුණේ ජීනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සංසදය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (24) එරටදී පැවැත්වූ මාධ්‍ය හමුවේදියි.

ඒ අනුව රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳව එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ ජිනීවාහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතුව ද අදාළ අවස්ථාවේ එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා කාර්යබහුල බැවින් සම්බන්ධ කරගත නොහැකි බවයි.

කෙසේ වෙතත් පසුව අප වෙත දැනුම් දිමක් සිදු කරමින් මෙරට ජිනීවාහී තානාපති කාර්යාලය පැවසුවේ අදාල චෝදනාව ප්‍රතික්ෂේප කරන බවට ජිනීවාහි පිහිටි ශ්‍රි ලංකා තනාපති කර්යාලයේ නිලධාරින් විසින් දන්වා ඇති බවයි.

මේ අතර ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණි.

එහිදී අදහස් දැක්වු ආචාර්ය නාලක ගොඩහේවා මහතා

“LTTEය ත්‍රස්ත සංවිධානයක් ලෙස සාමාජික රටවල් 32 ක් විසින් තහනම් කර තිබියදීත් OUSL වාර්තාව ඉදිරිපත් වන විට ත්‍රස්ත යන වචනය ඉවත් වී තිබෙනවා.එහි LTTEය අර්ථ නිරූපණය කරලා තියෙන්නෙ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමක් ලෙසයි.ත්‍රස්ත සංවිධානයක් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමක් අතර විශාල වෙනසක් පවතිනවා.

මෙහිදී අපට වැටහෙනවා චේතනාන්විතව මානව හිමිකම් කවුන්සිලය නොමග යැවීමේ උත්සාහයක් පවතින බව.ඇත්තටම ලොවපුරා ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වූවන්ට මේ වගේ සාධාරණයක් ඉටු කරන්න අවශ්‍ය නම් LTTEය සංවිධානය විනාශ වුවත් ඊට මූල්‍යමය ශක්තිය ලබා දෙන පාර්ශ්ව පිළිබඳව විමර්ශනය කළ යුතුයි.

මෙය මානව හිමිකම් කවුන්සිලයට මගහැරී තිබෙනවා.අනිත් එක මේ යෝජනාව ඉදිරිපත් වන විට වගන්ති 20 ක් තිබුණා.ඉන් එකකින් පමණයි  LTTEය සංවිධානය ගැන පවසා තිබුණෙ.ශ්‍රී ලංකාව රාජ්‍යයන් 02කට වෙන් කිරීමට අවශ්‍යව සිටි පාර්ශ්වයන්ට එය සන්නද්ධ අරගලයකින් සිදු කරගත නොහැකි වූ නිසා එය වෙනත් අයුරකින් ඉටු කරගැනීමට දැන් මුදල් යෙදවෙනවා.“