ජනපති ඝාතන කුමන්ත්‍රණයෙන් උණුසුම් වූ මැතිසබය

ජනපති ඝාතන කුමන්ත්‍රණයෙන් උණුසුම් වූ මැතිසබය

September 18, 2018   07:03 pm

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණය පැවැත්වෙන පසුබිමක නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තවදුරටත් පොලිස් සේවයේ නිරතව සිටීමෙන් විමර්ශනවලට බාධා විය හැකි බව ඒකාබද්ධ විපක්ෂය අද(18) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

මේ අතර අදාළ අනාවරණය සිදු කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා අනාවරණ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව ඊයේ(17) දෙවන වරටත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි නාමල් කුමාර මහතාගෙන් පැය 10 ක පමණ කාලයක් ප්‍රකාශ  සටහන් කරගැනීමෙන් අනතුරුව රාත්‍රී 8.00 ට පමණ ඔහු එම ස්ථානයෙන් පිටව ගියේය.

තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස වෙත යනතුරුම ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබු අතර වරකාපොල හා කෑගල්ල යන පොලිස් ස්ථානවලින් ඔහුගේ නිවසට ද පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳව සභාවේ අවධානයට යොමු කළේය.