ඉතාලියේ දී අත්අඩංගුවට ගත් ලාංකීකයා ගැන අනාවරණයක්

ඉතාලියේ දී අත්අඩංගුවට ගත් ලාංකීකයා ගැන අනාවරණයක්

September 18, 2018   06:54 pm

යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකීක වර්තමානයේදී කිසිදු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සේවය නොකරන බව තහවුරු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි මොහු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඉතාලි මාධ්‍ය වාර්තාවලින් අනතුරුව, එහි සත්‍ය අසත්‍යබව තහවුරු කරගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මුණගැසී ඇති අතර ඔහුගේ අනන්‍යතාව තහවුරු කොටගෙන තිබේ.

අදාළ පුද්ගලයා සතුව වලංගු රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අතර, ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක සේවයේ නියුතු වීම පදනම් කරගෙන ඔහු වෙත නිකුත් කර ඇති නිල විදේශ ගමන් බලපත්‍රයක් මඟින් මෙම පුද්ගලයා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත. 

මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත 2012-2015 යන කාලය තුළ විදේශ රටක රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරා ඇති බවද කොන්ත්‍රාත් කාලය අවසානයේදී අවලංගු කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් මොහු සතුව තිබී ඇති බවද තහවුරු කරගෙන ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.