ආනයන-අපනයන පාලකවරයා යළි රිමාන්ඩ්

ආනයන-අපනයන පාලකවරයා යළි රිමාන්ඩ්

September 18, 2018   04:54 pm

රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව හිටපු පාලක මහගමගේ ගාමිණී මහතා ලබන 02 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අදාළ නඩුව අද(18) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු තවදුරටත් පැවැත්වෙන බැවින්  සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ දියනිය අසනීප තත්වයෙන් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහුට ඇප ලබාදෙන ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ වාර්තා මීළඟ දින ඉදිරිපත් කරන  ලෙසත් ඉන් අනතුරුව ඇප ඉල්ලීම සලකා බලන බවද  මහෙස්ත්‍රාත් වරයා නියම කළේය.

අනතුරුව සැකකරු තවදුරටත් ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කළ අධිකරණය  එදිනට පරීක්ෂණවල ප්‍රගතිය  දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.

ජපානයේ සිට ආනයනය කළ වසර දහයකට වඩා පැරණි වාහන දෙකක් නිත්‍යානුකූල ආකාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් හිටපු ආනයන හා අපනයන පාලක වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.