මහවැලි ගඟේ සිදුවන මහා පරිමාණ වැලි ජාවාරම

මහවැලි ගඟේ සිදුවන මහා පරිමාණ වැලි ජාවාරම

September 8, 2018   09:39 pm

 

පරිසරය සුරැකීම පිළිබඳව කොතෙක් නීති රීති තිබුණද  නිලධාරීන්ගේ නිද්‍රාශීලී ක්‍රියාකලාපය හේතුවෙන් මහවැලි ගංගාවේ සිදුවන මහාපරිමාණ වැලි ජාවාමරක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණා.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

මේ ශ්‍රී පාදස්ථානයෙන් ආරම්භ වී ත්‍රීකුණාමලයෙන් මුහුදට එක්වන සුන්දර මහවැලි ගං කොමලියයි.

එලෙස ගලා බසින මහවැලි ගංගාවෙහි විවිධ ස්ථානවල සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණා.

ඒ අනුව ඒ පිළිබඳව ගවේෂණය කළ උකුස්සාට දැකගත හැකිවුණේ ත්‍රීකුණාමලය දිස්ත්‍රී‍ක්කයේ මූතූර් හා සේරුවිල යන ප්‍රදේශවලිදී නීතිය අබමල් රේණුවකට මායිම් නොකර ජාවාරම්කරුවන් පිරිසක් විසින් මහවැලි ගං කොමලිය කෙලසමින් වැලිගොඩ දමන ආකාරයයි.

එමෙන්ම කිසිඳු විටක වැලි ගොඩ දැමීම සඳහා ගංගාවකට ට්‍රැක්ටර් ඇතුළු කිරීමට නීතියෙන් සම්පූර්ණයෙන් තහනම්වන පසුබිමක ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් ගංගාවට ඇතුළුකර වැලි ගොඩදමන ආකාරයද දින ගණනාවක් පුරා එහි සිදුකළ ගවේෂණයේදී උකුස්සාට දැකගත හැකිවුණා.

එමෙන්ම අනක් ගුණක් නොමැතිව සිදුකරන මෙම වැලි ගොඩ දැමීම නිසා මහවැලි ගංගාවේ ඉවුරු විශාල ලෙස ඛාදනය වී ඇති ආකරය දැක ගැනීමට හැකි විය.

උකුස්සා මේ පිළිබඳව ගවේෂණය සිදුකරන ආකාරය වැලි ජාවරම්කරුවන් පිරිසක් එම ස්ථානයෙන් පලා ගිය ආකාරය අප කැමරාවේ සටහන් විය.

පරිසරය සුරැකීම සඳහා රටේ ප්‍රධානීන් විවිධ දේ පැවසූව ද නාම මාත්‍රයට පමණක් ඒවා සීමා වීම තුළින් ජාවාරම්කරුවන් තමන්ට රිසිසේ  මහා පරිමාණයෙන් වැලිගොඩ දැමීම පිළිබඳව සැබවින්ම පවතින්නේ ගැටළුකාරී තත්ත්වයක් නොවන්නේද ?

නාමමාත්‍රයට පමණක් පරිසරය සුරැකීම සීමා නොකර මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන තෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්.