ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයෙන් ගුවන් විදුලි නාට්‍ය මාලාව ගැන පැහැදිලි කිරීමක්

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයෙන් ගුවන් විදුලි නාට්‍ය මාලාව ගැන පැහැදිලි කිරීමක්

August 21, 2018   06:57 am

හිටපු ජනාධිපතිනියගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය කරන ගුවන් විදුලි නාට්‍ය මාලාව සම්බන්ධයෙන් එම කාර්යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය බුදුදහමට නිගා කළා යැයි කියන ප්‍රචාරය සාවද්‍ය හා නොදැනුවත් කමින් සිදුකර ඇති ප්‍රකාශයක් බව එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

සම්මානනීය ගුවන් විදුලි නාට්‍ය අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් රචනාකර ඇති නාට්‍ය මාලාවක් රාජ්‍ය ගුවන් විදුලි සේවාවක් ඔස්සේ පසුගිය අගෝස්තු 03 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම විකාශය වෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වෙයි. 

බුදුදහමේ හරයන් සහ වටිනාකම් විකෘතිවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටක අමනෝඥ නොවන බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවීන කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම නාට්‍ය මාලාවට සවන්දී ඒ පිළිබඳව සාමකාමී හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධ වීමට කාර්යාංශය සූදානම් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කතාංගවල නාමයන් පමණක් රූපිකාව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමඟ සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර අදාළ කතාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට කටයුතු කරන බව ද ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර අදාළ නාට්‍ය මාලාවට එරෙහිව ඊයේ(20) දිනයේදී බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පුජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ඒ බව මාධ්‍යයට පැවසීය.