අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ වාර්තාවක් ඉදිරියෙදි ප්‍රකාශ කරයි

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ වාර්තාවක් ඉදිරියෙදි ප්‍රකාශ කරයි

August 19, 2018   07:04 am

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු වාර්තාවක් ලබන තිස්වන දින ප්‍රකාශයට පත් කිරීමට සැළසුම් කර තිබේ.

එදිනට යෙදෙන අතුරුදන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමට ද, මෙරට අතුරුදන්වූ  තැනැත්තන් පිළිබඳ කාර්යාලය සැළසුම් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

“අතුරුදන්කිරීම් වලට ඉඩ නොතබමු” යන තේමාව යටතේ එදින පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අතුරුදන් වූ තැනැත්තන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහභාගී වන අතර ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් පැවැත්වීමට  සැළසුම් කර තිබේ.

2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදන්කිරීම් වලින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කිරීම සහ අතුරුදන් වූ තැනැත්තන් පිලීබඳ කාර්යාලය පිහිටුවීම හේතුවෙන් මෙවර සැමරුම් උත්සවය විශේෂත්වයක් ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.