ඝාතනය කරපු ගුරුවරියගේ මළ සිරුර ගැන පශ්චාත් මරණ පරීක්ෂණය අද

ඝාතනය කරපු ගුරුවරියගේ මළ සිරුර ගැන පශ්චාත් මරණ පරීක්ෂණය අද

August 18, 2018   02:13 pm

 

ඝාතනයකොට මොරගහකන්ද ජලාශයට ගෙනවිත් දැමූ පොළොන්නරුවේ ගුරුවරියගේ මළ සිරුර  පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (18) දින පස්වරුවේ මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානයේ පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.

මෙම ගුරුවරියගේ මළසිරුර මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානයෙන් අඩි 150 ක් පමණ පහළ ප්‍රපාතයකට විසිකොට දමා තිබියදී පොලීසිය සිදුකළ සොයාබැලීමේදී නරක් වී ගිය ඇටකටු ජලයට මෙහායින් වැව්තාවුල්ලේ තිබී සොයාගෙන තිබේ.

මෙසේ ඝාතනය කොට ඇත්තේ  පොළොන්නරුව ගල්තබරාව  නිස්සංකමල්ල පුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන මනෝරි හසන්තිකා  තොටගමුව (36) හැවිරිදි එක්දරු මවකි.  පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් බව පොලිසිය කියයි.

ඇයගේ මළ සිරුරේ අස්ථි කොටස් ඇති ස්ථානයට සහ මොරගහකන්ද නැරඹුම් ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි. 

පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණු බව පොලිසිය පවසයි.

පසුගිය ජූනි 21 වනදා මෙම කාන්තාව සිය සැමියා විසින් නිවසේදී ඝාතනයකොට කිලෝ මීටර් 62 ක් පමණ දුරකින් පිහිටි මොරගහකන්ද ජලාශයට ආසන්නයේද මෝටර් රථයකින් ගෙනැවිත් දමා ඇතැයි ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

පවුල් ආරවුලක් මත දෙදෙනා අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පසු ව මෙම කාන්තාව මියගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙම මියගිය කාන්තාවගේ ඥාතීන්  පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ මෙම ඝාතනය සැලසුම් සහගතව මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු තවත් කීප දෙනෙකු එක්ව සිදුකරන ලද්දක් බවය. 

මියගිය ගුරුවරියගේ සැමියා  ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හමුවේ තමන් සිදුකළ මෙම ක්‍රියාව හෙළිකිරීමත් සමඟ උන්වහන්සේගේ උපදෙස් පරිදි සැමියා විසින් පොලීසියට බාර වූ බව පොලිසිය පැවසීය.