පොලීසියට එරෙහි චෝදනා හොයන්න පොලිස් කොමිසමෙන් නව පියවරක්

පොලීසියට එරෙහි චෝදනා හොයන්න පොලිස් කොමිසමෙන් නව පියවරක්

August 18, 2018   12:21 pm

 

මානව හිමිකම් ජාතික ප්‍රතිපත්තිය යටතේ ජාතික පොලිස් කොමිසමට විශේෂ කාර්යය භාරයක් පැවරී ඇති බව එම කොමිසමේ ප්‍රධාන විමර්ශන නිලධාරී නීතීඥ ආචාර්ය මාරින්ග සුමනදාස මහතා පවසයි.

ඒ අනුව එම වැඩසටහන යටතේ විශේෂ ඒකකයක් පිහිටුවා පොලිස් වදහිංසාවට ලක්වන අය පිළිබදව පියවර ගැනීම මේ යටතේ සිදුකෙරෙන බව ඔහු පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට පොලීසියෙන් වදහිංසා පමුණුවන බවට එල්ල වන චෝදනා හා ඒ පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බි.බි.සී.සංදේශය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රධාන විමර්ශන නිලධාරී ආචාර්ය මාරින්ග සුමනදාස මහතා මෙම අදහස් පල කර තිබේ.

 ඉදිරි වර්ෂ තුන ඉලක්ක කරගනිමින් මෙරට තුළ මානව හිමිකම් පිළිබද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එය පසුගිය වසරේ දී ආරම්භ වූ බව ඔහු පවසා ඇත.

 මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශ , සෞඛ්‍ය අමාත්‍යංශය, නීතිය හා සාමය අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් කොමිස ඇතුළු ආයතන ඒකාබද්ධව කමිටුවක් ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.

මෙහිදි බි.බි.සී.සංදේශය සිදුකළ විමසීමකට වැඩිදුරටත් පිළිතුරු දෙමින් මාරින්ග සුමනදාස මහතා ප්‍රකාශ කළේ පුද්ගලයෙකුට ශාරීරික වේදනාවක්, පීඩාවක්, බරපතළ හිංසාවක් වැනි කාරණයක් වදහිංසාවක් ලෙස ජාතික පොලිස් කොමිසම අර්ථ දක්වන බවයි.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මෙරට ආණ්ඩුක්රාම ව්‍යවස්ථාවේ පවතින පුළුල් අර්ථයෙන් වදහිංසා පිළිබඳ කටයුතු කිරීමට පොලිස් කොමිසම කටයුතු කරන බව ද ප්‍රධාන විමර්ශන නිලධාරී නීතීඥ මාරින්ග සුමනදාස මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.