බුදු දහමට නිග්‍රහ කරන බවට හිටපු ජනපතිනියට චෝදනාවක්

බුදු දහමට නිග්‍රහ කරන බවට හිටපු ජනපතිනියට චෝදනාවක්

August 18, 2018   09:28 am

 

බුදු දහමට නිග්‍රහ කරමින් ජාතික සමගිය ඇති කිරීමට හිටපු ජනාධිපතිනිය උත්සහ දරණ බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍යහමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ජාතික සමගිය හා ඒකාබද්ධතා කාර්යාංශයේ මඟින් ජාතික සමඟිය හා ඒකාබද්ධතාව ඇති කිරීම සඳහා නාට්‍ය පෙළක් නිර්මාණය කර ඇති බවත් එම නාට්‍ය පෙළ ගුවන් විදුලිය හරහා ප්‍රචාරය කිරීමට සූදානම් කර ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම නාට්‍ය පෙළ කනට පහරක් ලෙස නම් කර ඇති අතර නාට්‍ය විවිධ නම්වලින් හඳුන්වන බවද උන්වහන්සේ පැවසීය.

එම නාට්‍ය පෙළ අතරින් එක් නාට්‍යක් දරුවන් සරණයි ලෙස හඳුන්වා ඇති අතර එය බෞද්ධයන් අතර සම්භාව්‍ය ප්‍රර්ථනාවක් වන තෙරුවන් සරණයි යන පාඨය විකෘති කර ඇති බවද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරයි.

මේ ආකාරයෙන් තවත් බෞද්ධ ධර්ම පාඨ රැසක් මේ ආකාරයෙන් විකෘති කර වෙනත් අර්ථ ලබාදී ඇති බවද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

ජාතික සමගිය හා ඒකාබද්ධතා කාර්යාංශයේ සභාපතිවරිය වන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය නිසා  මෙය සංවිධානය කරන්නේ එතුමියගේ උපදෙස් පරිදි බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.