ලක්ෂ හයාමාරේ මන්ත්‍රී පුටුව ගැන ඉසුරගෙන් පිළිතුරු

ලක්ෂ හයාමාරේ මන්ත්‍රී පුටුව ගැන ඉසුරගෙන් පිළිතුරු

August 10, 2018   08:07 pm

 

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලට එක් මන්ත්‍රී පුටුවක් රුපියල් ලක්ෂ හයාමරක් වැයකරමින් විදෙස් රටකින් ආනයනය කරනු ලබන්නේ විධිමත් ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් ඔස්සේ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ මේ සඳහා අයථා ගනුදෙනුවක් ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින්.  

බත්තරමුල්ල ඩෙන්සිල්කොබ්බෑකඩුව මාවතේ ඉදිවු බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ මන්ත්‍රී පුටුවක් සදහා රුපියල් ලක්ෂ හයාමාරක මුදලක් වැය කරමින් පුටු තොගයක් විදේශ රටකින් ආනයනය කිරීමක් සිදුකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් අනාවරණය කළේය.

එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගෙන් විමසා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුටුවට සමාන පුටුවක් ඇනවුම් කර ඇති බවත් ඒ අනුව මෙම  මිල ගණන් ඉදිරිපත් වී ඇත්තේ ඒ සඳහා බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේවා ඇනවුම් කිරීමේදී විදිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුව කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

එම යෝජනාවලිය තුළ සභාපතිවරයාගේ පුටුව සහ මේසය නිර්මාණය  කරන අවස්ථාවේදී එය බැලීමට යාම සදහා ක්ෂේත්‍ර චාරිකාවක්ද සංවිධාන කර තිබේ.