දියවැඩියාවට තිත තියන නීරෝගා ළඟදීම වෙළඳපොලට

දියවැඩියාවට තිත තියන නීරෝගා ළඟදීම වෙළඳපොලට

July 23, 2018   09:57 am

දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක්  හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණයතනය විසින් පියවර ගෙන තිබේ.

මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමටහැකි වේ.

අප රටේ ජනතාව වැඩිපුර බත් ආහාරය වශයෙන් ගැනීම නිසා සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළයාමට හේතුවන බව අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිලධාරින් පැවසීය.

ඊට ප්‍රතිකර්මයක් වශයෙන් නව වී ප්‍රභේදයක් හඳුන්වාදීම සඳහා කළ පර්යේෂණ මේ වනවිට ඉතාමත් සාර්ථක ව ඇති අතර දියවැඩියාව වළක්වන මෙම වී ප්‍රභේදය   “නීරෝගා” නමින් හඳුන්වන ලබයි.

දියවැඩියා රෝගය මේ වනවිට සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් එල්ල කර ඇති අතර දියවැඩියා රෝගය සැළකෙන්නේ සියලු රෝගවල මව Mother of all Diseases ලෙසය. 

අපේ රටේ මේ වනවිට සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සනාත වි ඇත.

එම නිසා මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද  ප්‍රකාශ කර ඇත.
 
මේ ආකාරයේ මානව සෞඛ්‍යයට ඉතාමත් හිතකර භෝග වර්ග රැසක් ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් පර්යේෂණ රැසක් සිදු කරමින් සිටී.