ඔලිම්පියාඩ් තරඟයෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ඔලිම්පියාඩ් තරඟයෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

July 23, 2018   09:18 am

ඉරානයේ ටෙහෙරාන් නුවර මෙවර පැවැත්වූ අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශක්ති සේනාරත්න ශිෂ්‍යයා ලෝකඩ පදක්කමක් ජයග‍්‍රහණය කිරීමට සමත් විය.

ජූලි මස 15 සිට 22 දක්වා පැවති මෙම තරගයට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ අනෙකුත් සිසු සිසුවියන් වන්නේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ජී. ගුණසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ චමෝද් මධුශංක එදිරිසිංහ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ උදාරා සමරනායකයි. 

එහි කණ්ඩායම් නායකයන් ලෙස මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ මහාචාර්ය ජයන්ත විජේරත්න මහතා සහභාගි විය.

මෙවර මෙම තරගාවලියට රටවල් 78 කින් සිසුන් 270 ක් සහභාගි ඇත. 

අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඞ් තරගාවලිය වාර්ෂිකව විවිධ රටවල උසස්පෙළ පාසල් සිසුන් අතර පැවැත්වෙන තරගයකි.

මෙම තරගයේදී සිසුන් ඔවුන්ගේ ජීවවිද්‍යාත්මක දැනුම , ජීවවිද්‍යාත්මක සිද්ධාන්ත සහ ප‍්‍රායෝගික දැනුම, කුසලතා සහ නිර්මාණශීලී භාවය ගැටලූ විසඳීම සඳහා ඔවුන් යොදා ගන්නා ආකාරය ඒ සඳහා ඔවුන් සතු හැකියාව මෙහිදි පරීක්ෂා කෙරේ.

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති මෙවර මෙම තරගාවලියෙන් වියට්නාමය, චීනය සහ තායිවානය ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් විය.