අනවසර ඖෂධ නිෂ්පාදනාගාරයක් උකුසු ඇසට හසුවෙයි

අනවසර ඖෂධ නිෂ්පාදනාගාරයක් උකුසු ඇසට හසුවෙයි

July 17, 2018   10:45 am

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයක් හෝ ලියාපදිංචියක් නොමැතිව රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනය කර බෙදා හැරීමේ කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

රත්මලාන බොරුපන පාරේ පිහිටි නීති විරෝධී ඖෂධ නිෂ්පාදනය කර බෙදා හැරීමේ කර්මාන්ත ශාලාවක් පිළිබඳව ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමග මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේය.

අනතුරුව එම ස්ථානය වැටලීම සඳහා උකුස්සා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සහ ආයුර්වේද වෛද්‍ය නිලධාරි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක්ද සමඟින් එක් විය.

එහිදී  දැකගත හැකි වුණේ කුඩා දරුවන් සඳහා මෙන්ම විවිධ රෝගවලට භාවිතා කරනු ලබන ඖෂධ වර්ග මෙහි කිසිඳු ප්‍රමිතියකින් තොරව නීති විරෝධී අයුරින් නිපදවන බවයි. 

මෙහි ඇති ඇතැම් ඖෂධවල ඇසුරුම් වෙනස් කරන බවද මෙහිදී  අනාවරණ විය.

එමෙන්ම මෙහි ඉන්දියාවෙන් ගෙන්වන ලද සුවඳ විලවුන් වල පරිමාණය ද  වෙනස් කිරීමද සිදුකරනු ලබයි.
 
මිල මුදලට ලොබ වී මිනිස් ජීවිත අනතුරේ හෙලන මෙවැනි ජාවාමරම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.