ළමුන් සහ පාපන්දු පුහුණුකරු සිරව සිටි ලෙන කෞතුකාගාරයක් වෙයි
සයුරෙන් එතෙර

ළමුන් සහ පාපන්දු පුහුණුකරු සිරව සිටි ලෙන කෞතුකාගාරයක් වෙයි

July 12, 2018   10:54 pm


තායිලන්තයේ චියංරායි පළාතේ පිරිමි ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සිරව සිටි තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

තායිලන්තයේ  ලෙනක් තුළ සිරවී සිට බේරාගත් දරුවන් පිරිසගේ වීඩියෝ පටයක් ඔවුන් ගුහාවෙන් පිටතට පැමිණීමෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත එක්කර තිබේ.

දින තුනක් පුරා සිදුකළ අතිශය දුෂ්කර මෙහෙයුමකින් පසුව මුදවා ගත් එම පිරිස මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන  අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අයුරු වීඩියෝ පටයේ දැක්වෙයි.

කෙසේ වෙතත් දින ගණනාවක් පුරා උමඟක සිරව සිටීම  හේතුවෙන් විෂ බිජවලට නිරාවරණය වීම වැළැක්වීම සඳහා මොවුන්ට මේ දක්වා ඔවුන්ගේ දෙමව්පියන් සහ පවුලේ හිතවතුන් සමඟ එක් වන්නට රෝහල් බලධාරීන් අවසර දී නොමැත.

මේ අතර ළමුන් සිරව සිටි තායිලන්තයේ චියංරායි පළාතේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

එමෙන්ම මෙම සිදුවීම ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට ද තායිලන්ත චිත්‍රපට සමාගම් දෙකක අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.