මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ප්‍රමිතියක් ඇති කළ යුතුයි
July 12, 2018 06:02 pm
මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ප්‍රමිතියක් නොමැති බව පෙනී යන බවත් අප එම ප්‍රමිතිය ඇතිකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"සුභග" ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයට අද (12) දින අරලියගහ මන්දිරයේදී එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
රටේ සියලුම පාසල් සඳහා පුහුණු ගුරුවරුන් සහ ඉගැන්වීමේ සහතික සහිත ගුරුවරුන් බඳවා ගන්නා ලෙස 1987 වසරේ 13 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබුණත් පුරා වසර 30කට අධික කාලයක් එය ක්‍රියාත්මක නොකිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් ඇතිකිරීමේ නව නීති ගෙන එන ලෙස අධ්‍යාපන ඇමතිවරයාට තමන් උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබද නීති සකස් කර තිබෙන බවත්, මෙරටද අධ්‍යාපන ප්‍රමිතිය පිළිබද නීතිය නොපමාව සකස් කළ යුතු බවත් හෙතෙම පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබූ අධ්‍යාපන, ක්‍රීඩා, සෞන්දර්ය ආදී විෂයන්ගෙන් දක්ෂතා දැක්වූ දරු දැරියන්ට "සුභග" ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය අද (12) දින අරලියගහ මන්දිරයේදී පැවති අතර එහිදී මේ බව සදහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද කීය.
"මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ප්‍රමිතියක් නොමැති බව පෙනී යනවා. අප එම ප්‍රමිතිය ඇතිකළ යුතුයි. ජාත්‍යන්තර වශයෙන් සංවර්ධනය වෙමින් ඉදිරියට යාමට හැකියාව තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමිතියක් ඇතිකරන රටවල්වලට පමණයි.
අප රටේ අධ්‍යාපනයේ ප්‍රමිතියක් ඇති නොකළහොත් සෑම පාසලකටම දියුණුවෙමින් ඉදිරියට යාමට නොහැකි වෙනවා. එවිට ඉදිරියට යන්නේ රටේ පාසල් කිහිපයක් පමණයි. අඩු පහසුකම් සහිත පාසල්වලට පහසුකම් ලබාදෙනවා නම්, ගුරුවරුන් ලබා දෙනවා නම්, ප්‍රමිතියක් ඇතිකරනවා නම් ඔවුන්ට මීටත් වඩා වැඩි දක්ෂතා දැක්වීමට හැකියාව ලැබෙනවා.
1987 දී ව්‍යවස්ථාවට දහතුන් වන සංශෝධනය අප ඇතුලත් කළේ එම ප්‍රමිතිය ඇති කිරීමටයි. එහිදී ජාතික අමාත්‍යාංශයට සහ පළාත් අමාත්‍යාංශවලට අප වගකීම් කිහිපයක බලය ලබාදුන්නා. 13 වන සංශෝධනයේ 3 වන පරිච්ඡේදයේ 04 වන වගන්තියේ සඳහන් වන පරිදි අධ්‍යාපන විද්‍යායතන සහ විශ්ව විද්‍යාලවලින් දෙන ලද ඉගැන්වීම් සුදුසුකම් වශයෙන් පිළිගනු ලබන්නාවූ ද, ඩිප්ලෝමා සහ උපාධි සහිත තැනැත්තන් ද ගුරුවරුන් වශයෙන් බඳවා ගනී. ගුරු සේවයට බදවා ගැනීම මේ ආකාරයට සීමා කර තිබෙනවා. මෙම සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් ගුරු සේවයට බදවා ගන්නා ලෙස එහි සඳහන් වී තිබෙනවා. 1987 මම මෙය සකස් කරන අවධියේ සෑම ගුරුවරයෙකුටම එම සුදුසුකම් තිබුණේ නැහැ. එම නිසා අප ඊට තවත් එක් වගන්තියක් ඇතුලත් කළා.
එනම් සීමිත කාලයකට ක්‍රියාත්මක කළ යුතුයි. යනුවෙනුයි. මෙම වර්ගවලට ප්‍රමානවත් පුද්ගලයන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට හැකි වන තෙක් ගුරු සේවයට වෙනත් තැනැත්තන් බදවා ගැනීම රාජ්‍ය සේවා කොමිසන් සභාවේදී පවත්වන ලද පරීක්ෂණවල ප්‍රතිපල අනුව සිදුකරනු ලැබේ ලෙස එහි සඳහන්ව තිබෙනවා. අප ඉන් අදහස් කලේ මෙම වර්ගවලට එම සුදුසුකම් සැපුරු ප්‍රමාණවත් තැනැත්තන් ඉදිරිපත් වන තෙක් එහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමටයි. ඒ වගේම ප්‍රමිතිය පවත්වා ගැනීමට හා ආරක්ෂා කර ගැනීම සඳහා පාසල්වල කළමණාකරණය සහ අධීක්ෂණය කිරීමේ අයිතිය අධ්‍යාපන අමාත්‍යවරයාට ඇතෙ. ලෙසත් මෙහි සඳහන් වනවා.
අප මෙය සකස් කලේ 1987 වසරේදීයි. ගතවු වසර 30 තුල සියලූම පාසල් සඳහා පුහුණු ගුරුවරුන් සහ ඉගැන්වීමේ සහතික සහිත ගුරුවරුන් බඳවා ගැනීමට අපට හැකියාව තිබුණා. නමුත් ගතවූ වසර 30 තුල එය සිදුවුනේ නැහැ. අප ක්‍රියාකර තිබෙන්නේ ව්‍යවස්ථාවට පටහැනිවයි. රටේ තරුණ ශිෂ්‍ය පරම්පරාවට සිදුවී තිබෙන අපරාධය එයයි. දැන් ඒ අතීතය පිළිබඳව කතා කිරීමෙන් පළක් නැහැ.
වර්තමානයේ අපටත් වඩා බොහෝ සේ දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් තුල සිටිනවා. අප දැන් කල්පනා කළ යුත්තේ ඔවුන්ගේ අනාගතය පිළිබදවයි. එම නිසා ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් ඇතිකිරීමේ නව නීතියක් ගෙන ඒමට මම අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබාදුන්නා.
ජාතික ප්‍රතිපත්ති සකස් කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව හරහායි. ජාතික වශයෙන් අධ්‍යාපන ප්‍රමිතිය කුමක්දැයි අප සඳහන් කළ යුතුයි. නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව නීති සකස් කර තිබෙනවා. එම නිසා අපත් අධ්‍යාපන ප්‍රමිතිය පිළිබද නීතියක් සකස් කර ගත යුතුයි. වසර දෙක - තුනක කාලයක් ලබාදීමෙන් පසුව පාසල් ක්‍රියාත්මක විය යුත්තේ එම ප්‍රමිතීන්ට අනුවයි. එම ප්රමිතීන් ක්‍රියාවට නංවන්නේ නැති ගුරුවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවක් අප තීරණය කළ යුතුයි.
එහිදී තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ පන්ති කාමරයේ ශිෂ්‍යයන්ගේ දක්ෂතාවය, පාසලේ දක්ෂතාවය, ආදිය පෙන්විය යුතුයි. මෙය ක්‍රියාත්මක කිරීමේදී පළමු වසරේදීම ප්‍රමිතිය බලාපොරොත්තු වන්නේ නැහැ. අප එය බලාපොරොත්තු වන්නේ ක්‍රමානුකූලවයි. එම ප්‍රමිතිය ඇතිකිරීම නීතියෙන් බලාත්මක කළ යුතුයි. ඒවගේම පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමත් මෙම ක්‍රමවේදය යටතේ සිදුකළ යුතුයි. ඉදිරි වසර 04ක් පමණ ගතවන විට පාසල් සඳහා ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට හැකියාව තිබෙන්නේ ගුරු සහතිකය තිබෙන පුද්ගලයන් පමණයි. එසේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වෙනුවෙන් දැන් සිටම සූදානම් විය යුතුයි. ඒ වගේම විභාග හරහා බඳවාගෙන තිබෙන ගුරුවරුන්ට එම අවශ්‍ය සුදුසුකම වන ගුරු සහතිකය ලබාගැනීමට අප තවත් කාලයක් ලබාදීමට සූදානම්. මෙම වැඩසටහන ක්‍රියාවට නංවන්නේ නැතිනම් සම්පූර්ණ අමාත්යාංශටම නීතියෙන් දඬුවම් කළ යුතුයි. එම නිසා ඉදිරි වසර 04ක 05ක කාලය තුල එම වැඩකටයුත්ත ඉටු කළ යුතු වෙනවා. "
මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධ ක්‍රිෂ්නන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.