ඉන්ධන මිල කඩින් කඩ වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනයට ආණ්ඩුව සැරසෙනවා-මහින්දගෙන් නිවේදනයක්

ඉන්ධන මිල කඩින් කඩ වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනයට ආණ්ඩුව සැරසෙනවා-මහින්දගෙන් නිවේදනයක්

July 12, 2018   05:18 pm

ඉන්ධන මිල කඩින් කඩ වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනය කර ගැනීමට ආණ්ඩුව මාන බලන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඉන්ධන මිල හැසිරවීම තුළින් ජනතාව සූරාකෑම යන මැයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(12) පස්වරුවේ මාධ්‍යවෙත මෙම නිවේදනය නිකුත් කරනු ලැබීය.

හිටපු ජනාධිපතිවරයා මෙම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ සති අටක කාලයක් ඇතුළත දෙවෙනි වරටත් ඉන්ධන මිලේ වැඩි වීමක් අත්දකින පළමු අවස්ථාව මෙය බවයි.

ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74ක් වන අතර අද පෙට්‍රල් ලීටරයක මිල රු.145 ද ඩීසල් ලීටරයක මිල රු. 118 ද වෙයි.

මීට අවුරුදු 10 කට පෙර 2008 දී, අද පවතින මිලට වඩා ‍බෙහෙවින්ම ඉහළ මිලක් වූ ඇමරිකානු ඩොලර් 97 කට බොරතෙල් බැරලයක් මිලදී ගන්නා අවස්ථාවේදී පෙට්‍රල් ලීටරයක දේශීය මිල රුපියල් 120 ක් වූ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 70ක් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අද දේශීය ඉන්ධන මිල අසාමන්‍ය ආකාරයට වැඩි වී ඇත්තේ ඇයි දැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු අතර මිල සූත්‍රයක් ගැන කතා කරනු ඇසුනත් කිසිවෙකුත් එවැනි සූත්‍රයක් දැක නැති බවද හිටපු ජනාධිපතිවරයා සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මුලින්ම ඉන්දීය තෙල් සමාගමට මිල වැඩි කිරීමට ඉඩ දී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පැරණි මිලටම විකුණණ අතර ටික දවසක් ගොස් ඉන්ධනවලට වැඩි මුදලක් ගෙවීමට ජනතාව හිත හදාගත් පසු ඛණිජ තෙල් සංස්ථාවේ මිලද වැඩි කරනු ලබයි.

එක් වරම ඉන්ධන මිල වැඩි කිරීමට වඩා ඒ ආකාරයට වැඩි කිරීමෙන් ජනතා විරෝධය පාලනය කර ගැනීමට ඔවුන් මාන බලන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.