යළි යුද්ධයකට නොයන්න ආගමික සංහිඳියාවක් ඇති කළ යුතුයි

යළි යුද්ධයකට නොයන්න ආගමික සංහිඳියාවක් ඇති කළ යුතුයි

July 12, 2018   02:12 pm

රට යළි යුද්ධයකට ඇඳ නොදමා ඉදිරියටත් රට සංවර්ධනය කිරීමට නම් ආගමික සංහිඳියාවක් ඇති කළ යුතු බව යුද හමුදාපති ලුතිතල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඊයේ(11) කතරගම පුදබිමට උතුර නැගෙනහිර සිට පාද වන්දනාවෙන් බැතිමතුන්ගේ සුවදුක් විමසීමේ අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ අදහස් පල කළේය.

යාපනයේ දෙමළ ජනතාව කිලෝමීටර ගණනාවක් දුර ගෙවා පැමිණෙන විට භාරකාරයින් ලෙස තමා ඇතුළු හමුදාව ඔවුන්ට බලා ගත යුතු බවත් පැවසූ යුද හමුදාපතිවරයා, හමුදාවේ නායකත්වයෙන් සිදුවන මෙවැනි ක්‍රියා දෙස බලා ජනතාව එය තේරුම් ගත යුතු බවත් කියා සිටියේය.

එමෙන්ම පන්සල්, කෝවිල් සියල්ල එක් කර ගනිමින් රටේ ආගමික සංහිඳියාව තුළින් රට සංවර්ධනය කරා ගෙන යෑමට එක රටක් හා එක් ජාතිකයක් ලෙස එක්ව ඉදිරියට යා යුතු බව ද පැවසීය.

ලොව ආගම් තුනකට අයත් මුස්ලිම්, හින්දු හා බෞද්ධ බැතිමතුන් එකම පුද බිමක එකම දෙවියන් ඇදහීමට ඇති එකම ස්ථානය කතරගම දේවාලය වන අතර එය සර්වාගමික දේවස්ථානය ලෙස හැඳින්වෙයි.

කතරගම කඳසුරිදුන්ගේත් වල්ලි දෙවගනගේත් අතර සිදු වු විවාහය සනිටුහන් කරමින් සෑම වර්ෂයකදීම ඇසල මංගල්‍ය පැවැත්වෙන අතර මෙම ඇසල මංගල්‍ය ඇරඹීමත් සමඟ උතුර නැගෙනහිර සිට පාද වන්දනාවෙන් බැතිමතුන් විශාල පිරිසක් කතරගම පුදබිම වෙත පැමිණෙයි.

මෙම බැතිමතුන්ගේ පහසුකම් සොයා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ(11) යාල අංක 2 කලාපයට පැමිණියේය.

මේ අතර අතීතයේ මංමාවත් නොමැති යුගයේ කතරගම දෙවියන්ට අයත් කඹුරුවල වි අස්වනු තවලම් මඟින් රැගෙන විත් ඇති අතර 
එම චාරිත්‍රය අදටත් ඉටුකරමින් තවලම් මඟින් කතරගම දෙවියන්ට අයත් කඹුරුවල වි අස්වනු තවලම් මගින් රැගෙන ඒමද සිදු කෙරුණි.