හුලංදාව රක්ෂිතයේ සිදුකළ මී දැව ජාවාරම පොලීසිය වටලයි

හුලංදාව රක්ෂිතයේ සිදුකළ මී දැව ජාවාරම පොලීසිය වටලයි

July 12, 2018   12:02 pm


මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් අනුව මොණරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ ඇල රක්ෂිතයේ සිදු කළ හදිසි වැටලීමකදී නීති විරෝධීව ජංගම ලී ඉරුම් කට්ටලයක් යොදා ගනිමින් මී ගස් කපා කුට්ටි කළ ජාවාරමක් වැටලීමට සමත් වී ඇති  බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සැකකරුවන් විසින් වසර ගනනාවක් ඉපැරණි මී ගස් කපා කුට්ටි කරමින් සිට ඇති අතර මෙම සැකකරුවන් කලක සිට මෙම ජාවාරමේ නිරත වූ පිරිසක් බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

වැටලීම සිදු කර එම ස්ථානයේ තිබූ ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමකින් යුතු මී දැව කඳන් තොගයක්, අත් ට්‍රැක්ටරයක්, ජංගම ලී ඉරුම් කට්ටියක් සහ උපකරණ තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම වැටලීම සිදු වන අතර තුර සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් පිළිබඳ තොරතුරු පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

වැඩි දුර විමර්ශන සඳහා දැව තොගය සහ උපකරණ මොණරාගල පොලීසිය වෙත භාර දී ඇති අතර වැඩි දුර විමර්ශන කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සිදු කරයි.