සයුරෙන් එතෙර
ගුහාව තුළ සිරවී සිට බේරාගත් ළමුන්ගේ වීඩියෝවක් පළමු වරට මාධ්‍යයට-ළමුන්ගේ බර කිලෝ 2කින් පහලට
July 12, 2018 11:34 am
තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිට බේරාගත් දරුවන් පිරිසගේ වීඩියෝ පටයක් ඔවුන් ගුහාවෙන් පිටතට පැමිණීමෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත එක්කර තිබේ.
තායිලන්ත රජය විසින් මෙම වීඩියෝ පටය මාධ්‍ය වෙත ලබාදී තිබුණි.
තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටි වයස අවුරුදු 11ක් -16ත් අතර දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සති දෙකකට පමණ පසුව නිරුපද්‍රිතව ඉන් පිටතට ගෙන ඒමට මෙහෙයුම් කණ්ඩායම් පසුගියදා සමත් විය.
මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා චියැන්රායිහි රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර රෝහල්ගතව සිටින දරුවන් පිරිසගේ වීඩියෝ පටයක් තායිලන්ත රජය විසින් මාධ්‍ය වෙත එක්කර තිබුණි.
ඔවුන් පිරිස ගුහාවෙන් පිටතට ගෙනආ පසුව මාධ්‍ය වෙත නිරාවරණය කල පළමු අවස්ථාව මෙයයි.
දරුවන් පිරිස සතුටු සාමිචියේ යෙදෙමින් සාමාන්‍ය පරිදි හැසිරෙන අයුරු වීඩියෝ පටයේ දැක්වෙයි.
කෙසේ නමුත් ගුහාවේ සිරවී සිටි කාලය තුළදී ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් දෙකකින් පමණ අඩුවී ඇතැයි වෛද්‍යවරුන් සඳහන් කළේය.
දරුවන් සියලු දෙනාටම ජලභීතිකා සහ පිටගැස්ම එන්නත් ලබාදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති අතර ඇතැම් දරුවන් පෙනහළු ආසාදනවලටද ලක්ව ඇති බව සඳහන් වෙයි.
මේ පිරිසට දින දහයක කාලයක් රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇති බවත් වෛද්‍ය වාර්තාවල දැක්වෙයි.
රෝහලේ පිටව ගියද මුළුමනින් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා තවත් දින 30ක පමණ කාලයක් ගතවනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.