මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම ගැන සාකච්ඡාවක් - වදක තනතුරෙත් පුරප්පාඩුවක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම ගැන සාකච්ඡාවක් - වදක තනතුරෙත් පුරප්පාඩුවක්

July 12, 2018   07:14 am

 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමට ඉදිරි දින කිහිපය තුළ අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කලේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග රැසක් පවතින බවයි.

විශේෂයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන වදක තනතුර මේ වන විටත් පුරප්පාඩු වී ඇති බැවින් එම පුරප්පාඩුව කඩිනමින් පිරවිය යුතු බව නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේය.

ඊට අමතරව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කොට කඩිනමින් විසදුම් ලබාගැනීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ඒ අනුව එම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (11) මහනුවර දී ප්‍රකාශ කළේය.