ආහාර නිෂ්පාදනයෙන් සියයට 40 ක් සතුන් නිසා විනාශ වෙනවා

ආහාර නිෂ්පාදනයෙන් සියයට 40 ක් සතුන් නිසා විනාශ වෙනවා

July 12, 2018   06:50 am

 

මෙරට ආහාර නිෂ්පාදනයෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සතුන් නිසා විනාශයට පත් වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ අතරින් රිලවුන්ගෙන් සහ වදුරන්ගෙන් සිදුවන හානිය අධික බවයි.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ පෞද්ගලික අංශයෙන් මධ්‍යම පළාතට ප‍්‍රතිලාභ රැසක් හිමි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ඊයේ (11) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළැඹීම ද සිදු කෙරිණි.

යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්ව උත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි‍්‍රයාවට නංවා තිබෙන අතර, පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් එය මේ වන විට ඉතා දිළිඳු ජනතාව ජීවත්වන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඉලක්ක කර ගනිමින් සාර්ථකව කි‍්‍රයාත්මක කෙරේ.

මහනුවර දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය මේ වන විට සියයට 5.5 ක් වන අතර දිළිඳු ජනගහනය 76,429 ක් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය සියයට 6.3ක් වන අතර දිළිඳු ජනතාව 46,257කි. මාතලේ දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය සියයට 3.9ක් වන අතර දිළිඳු ජනහගහනය 19,359කි.

මෙම ජනතාව ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර, එම ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ කි‍්‍රයාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසම සහභාගීවී සිටි මෙම සාකච්ඡාවේදී පළාතේ ජනතාව මුහුණදී ඇති සෙසු ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව ද අවධානය යොමු විය.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දේශපාලන භේදයකින් තොරව සෑම ජනතාවටම ප‍්‍රතිලාභ හිමිවන අයුරින් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළක් බවයි. එමෙන්ම ඒ සඳහා පුළුල් වගකීමකින් යුතුව සියලුදෙනා ඒකරාශී වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සීමාසහිත මාතලේ අඹන් ගඟ වැනිලා වගාකරුවන්ගේ ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ මැකොමික් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සහ, නුවරඑළිය මල් වගාකරුවන්ගේ ග‍්‍රාමශක්ති ජනතා සමාගම සහ හේලීස් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මෙහිදී සිදුවිය.

ඒ අනුව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු බීජ ලබාදීමට සේම සැපයුම්කරුවන්ට අවශ්‍ය භෞතික සම්පත් හා දැනුම ලබාදීමට හේලීස් සමාගම එකඟවන අතර ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා බවට සහතිකයක් ද නිකුත් කරයි.

සීමාසහිත ගල්කඩපතන බහු භෝග නිෂ්පාදකයින්ගේ සහ ව්‍යවසායකයින්ගේ ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ සීමාසහිත කියෝටා කෝපි සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.

එමෙන්ම ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන පළමු වාරිකය වෙනුවෙන් ප‍්‍රතිපාදන නුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම්වරු වෙත ලබාදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. ඒ අනුව මහනුවර දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 60ක් ද, නුවරඑළිය දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 15 ක් ද, මාතලේ දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 33 ක් ද ලබාදීම සිදුවිය.

මහනුවර රොටරි සමාජය විසින් තැල්සීමියා රෝගීන්ගේ ප‍්‍රයෝජනය සඳහා ප‍්‍රදානය කරන ලද බස් රථයක් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මින් අනතුරුව සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා එය මහනුවර රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාරදෙනු ලැබීය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් සහ දිස්ති‍්‍රක් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානින් ඇතුළු පළාතේ රාජ්‍ය නිලධාරින් මෙම මෙහෙයුම් කමිටු රැස්වීමට එක්ව සිටියහ.

මින් අනතුරුව ජනාධිපතිවරයා යටිනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටලිගොඩ උතුර ග‍්‍රාමශක්ති ගම්මානය වෙත ගොස් එම ජනතාව හමුවිය.

කැටපිටිය පුරාණ විහාරයේදී පැවැත්වුණු මෙම හමුවේදී කොටලිගොඩ ග‍්‍රාමයේ ජනතා ගැටළු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

පානීය ජල ගැටලුව, මාර්ග ඉදිකිරීම්, සෞඛ්‍ය සහ අධ්‍යාපන මෙන්ම ඉඩම් ඔප්පු පිළිබඳ ගැටලු ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සිදු විය.

එම සියලු ගැටළු සඳහා ඉතා හොඳින් ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එම්. පී. හිටිසේකර මහතා ඇතුළු නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.

කොටලිගොඩ ග‍්‍රාම සංවර්ධන ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 මුදලක් සහ නිල සෙවණ කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කිරීමට ද ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මෙහිදී පියවර ගැනිණි.

කොටලිගොඩ ග‍්‍රාමීය රෝහලේ අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට ද නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා රෝහලට අවශ්‍යව ඇති නව ගිලන් රථයක් කඩිනමින් ලබාදීමට ද පොරොන්දු විය.

කොටලිගොඩ, කැටපිටිය පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය සුමනජෝති නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ප‍්‍රදේශයේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.