Back to Top

නීතිවිරෝධි වැලි ඡාවාරමක් උකුසු ඇසට හසුවු හැටි

නීතිවිරෝධි වැලි ඡාවාරමක් උකුසු ඇසට හසුවු හැටි

July 10, 2018  07:27 pm

Bookmark and Share

රක්ෂිත භූමියක පිහිටි කිරිඳි ඔය විනාශ කරමින් නීති විරෝධී අයුරින් සිදුකෙරුණු වැලි ජවාමරක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

මනස්කාන්ත දියලුම ඇල්ලෙන් ආරම්භ වී ගලා බසින සුන්දර කිරිඳි ඔය තණමල්විල ඌවකුඩාඔය ප්‍රදේශයෙන් ගලා බසිනු ලබන්නේ සොබා සෞන්දර්යට තවත් සුන්දරත්වයක් එක්කරමින්.

එවන් පසුබිමක නීතිය තුට්ටුවකට මායිම් නොකර, රක්ෂිත භූමියක පිහිටි කිරිඳි ඔය ඉවුරු දෙපස විනාශ කර කලක පටන් වැලි කැනීම් සිදුකරන බවට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව අද දෙරණ උකුස්සා  වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කළේය.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අද දෙරණ උකුස්සාද සමඟින් පොලිස් කණ්ඩායමක් පළමුව එම ප්‍රදේශයේ රහසිගත සොයා බැලීමක නිරත විය.

පළමුව එහි ගවේෂණය කළ උකුස්සාට දැකගත හැකිවුණේ තණමල්විල ඌව කුඩා ඔය ප්‍රදේශයෙන් කිරිඳි ඔයෙහි ඉවුරු කපා වැලි ගොඩදමා තිබෙන ආකාරයයි.

එමෙන්ම මොවුන් රක්ෂිතය තුළට ගමන් කිරීම සඳහා ප්‍රදේශයේ ඇති අලිවැටද කඩා දමා තිබුණේ මෙලෙසින්.

ඒ අනුව මෙහි සිදුකෙරෙන නීති විරෝධී වැලි කැණීම සහ ප්‍රවාහනය නිසිලෙස තහවුරු කරගැනීමෙන් පසුව රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරීන් සමගින් එක්ව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් දියත් කළේය.

එහි පළමු පියවර ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් පොලිස් අත්අඩංගුවට ගැණුනි.

අනතුරුව වැලි කැණීම් සිදුකරන ලද ජේ.සී.බී. රථයක්ද පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වුණේ දහවල් කාලයේදී ජේ.සී.බී යන්ත්‍ර මඟින් ගොඩ දමන ලද වැලි රාත්‍රී කාලයේදී ටිපර් රථ මඟින් ප්‍රවාහනය කෙරෙන බවයි.

 මතු පරපුරටද සෘජුවම බලපෑම් සිදුකරන මෙවන් පරිසර විනාශයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ඉදිරියේදීත් රටට අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.