වීරවිල ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ප්‍රමිතියෙන් තොර බව තහවුරු වෙයි

වීරවිල ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ප්‍රමිතියෙන් තොර බව තහවුරු වෙයි

June 29, 2018   09:12 pm

තිස්සමහාරාම වීරවිල ගුවන් හමුදා කඳවුර මඟින් පවත්වාගෙන යනුලබන ඉන්ධන පිරවුම්හලෙහි ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඊයේ  (28) ගැටලුකාරී තත්ත්වයක් ඇති විය.

 අලෙවි කළ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක දි එම ඉන්ධන වල ගැටලුවක් පවතින බව අනාවරණය වි තිබේ.

අදාල පිරවුම්හලෙන්  ඩීසල් ලබා ගත් පිරිසක් තම වාහනය අතරමග ඇණහිටීම හේතුවෙන් ඊයේ යලිත් එම ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ ප්‍රමිතියෙන් තොර ඉන්ධන අලෙවි කරන බවට චෝදනා කර තිබේ. 

එහිදී ඉන්ධන පිරවුම්හල භාරව සිටි ගුවන් හමුදා නිලධාරියා පවසා සිටියේ ගැටලුව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කළේ අදාල ඉන්ධන පිරවුම්හල මගින් අලෙවි කළ ඉන්ධන ප්‍රමිතියෙන් තොර බව අනාවරණ වී ඇති බවයි.

පරීක්ෂණ අවසන් වනතෙක් ඉන්ධන නිකුත්කළ පොම්පය මුද්‍රා තබා ඇති බවත් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ගුවන් හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය.