වතුපිටිවල මූලික රෝහලට කෝටි 02 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්

වතුපිටිවල මූලික රෝහලට කෝටි 02 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්

June 24, 2018   10:02 pm


අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් රුපියල් කෝටි 02 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් වතුපිටිවල මූලික රෝහලට පරිත්‍යාග කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම රෝහලේ දී පැවැත්විනි.

මෙහිදී 2 D Eco යන්ත්‍රයක්, ECG යන්ත්‍රයක්, Scanner යන්ත්‍රයක්, දැඩි සත්කාර ඒකකයට විශේෂ ඇදන් පරිත්‍යාග කිරීම මෙන්ම රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත කිරීම ඇතුළු විවෘත කිරීම් රැසක් පසුගිය 22දා සිදු කෙරිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“මම රෝහල්වලට පැමිණෙන්නේ රජයෙන් ලබාදෙන සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමටයි. නමුත් අද දින වතුපිටිවල රෝහලට පැමිණියේ පන්නිල ආනන්ද හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ව්‍යාපෘති විවෘත කිරීමටයි. 

මෙම හිමියන් පසුගිය කාලයේ දී රුපියල් මිලියන 500 ක් පමණ වැය කරමින් මෙම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කර තිබෙනවා. පිනට දහමට කරන වැඩ වුනත් එහි වටිනාකම ප්‍රකාශයට පත් කළ යුතුයි. නැතිනම් ජනතාවට වැදගත්කමක් නැහැ. භාවිත කරනවා විතරයි.

මෙම රෝහලට ඔබේසේකර පරපුර අක්කර 26 ක ඉඩම් ලබාදුන්නා. ඉන් පසු අනුර බණ්ඩාරනායක මහතා රුපියල් ලක්ෂ 960 ක් වැය කරමින් ලේ බැංකුවක් හදා දුන්නා. ඉන් පසු වැඩිම ධනයක් මෙම රෝහල වෙනුවෙන් වියදම් කර තිබෙන්නේ පන්නිල ආනන්ද හිමියන්. ඔබේසේකර පරපුර රෝහල සදහා ඉඩම් ලබාදීම අගය කළ යුතුයි. මොකද අද ඉඩම් වලට ගහ මරා ගන්නවා. මෙම පරිත්‍යාගය කර තිබෙන්නේ පරම්පරාවෙන් ලැබුන ඉඩම් වලින්. මෙම රෝහලට සීටි ස්කැනර් යන්ත්‍රයක් ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නවා.

2015 මැතිවරණයේ දී ප්‍රථම වරට සෞඛ්‍ය ප්‍රශ්න කථා කෙරුනා. දල දේශීය නිෂ්පාදනයෙන් සෞඛ්‍ය සේවාව සදහා සියයට 3 ක් වෙන් කිරීමට පොරොන්දු වුවත්, එය මේ වන විට ඉක්මවා තිබෙනවා. වසර 2020 වනවිට එම මුදල සියයට 5 දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 2017 වසරේ දී මම රුපියල් කෝටි 50,000 ක් පමණ සෞඛ්‍ය සදහා වැය කර තිබෙනවා. 

මධ්‍යම රජයේ ද, පළාත් සභා ද කියා බලන්නේ නැතිව මුදල් වෙන් කළා. හැම හොද දෙයක් කරනකොටම විවේචන එල්ල වෙනවා. 2017 වසරේ දී පමණක් පළාත් සභා රෝහල් සංවර්ධනය කිරිම සදහා රුපියල් බිලියන 5 ක මදලක් ලබාදුන්නා. අපේ රජයට සල්ලි උතුරලා නැහැ. බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ණය ගෙවන්න තිබෙනවා. පසුගිය රජය දේශීය බැංකු වලින් ද ණය අරගෙන. 

ඒ හොර පාරෙන්. භාණ්ඩාගාරයේ අනුමැතිය යටතේ ණය අරගත යුතුයි. ණය උගුලක සිර වී සිටිද්දී තමයි සියලු සෞඛ්‍ය සේවාවක් සිදු කරන්නේ. රුපියල් සත වලින් ජිවිත ගණන් හදපු කාලය අපි අවසන් කළා. අපෙන් අහනවා මොනවද කළේ කියලා. දුප්පත් මිනිසාට තමයි සෞඛ්‍ය සේවාව දියත් කර තිබෙන්නේ. ජනතාව මැරුණේ මුදල් නැති කමින්. නමුත් කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව කියලයි. 

අපේ රජය සියලුම ජනතාව රක්ෂණය කර තිබෙනවා. පාසල් දරුවන් ද රක්ෂණය කර තිබෙනවා. ධන පරිත්‍යාග තිබෙනවා නම් සෞඛ්‍ය සේවා කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුලුවන්. 

බුදුරජාණන් වහන්සේ ද දේශණා කලේ ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරන්න කියලා. ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළ යුතුයි. අපේ නිර්මල බුදුදහම ආරක්ෂා වන්නේ සංඝ පරම්පරාව නිසයි. මම බුදුදහම ඉගෙන ගත්තේ කොටගම ඥානිශ්වර හිමියන්ගෙන්. උන් වහන්සේ නිවැරදි බෞද්ධ දර්ශණය ඉගැන්වූවා. මම දේශපාලනය අවසන් වූ පසු බෞද්ධ දර්ශණය හදාරනවා. මෙය ශ්‍රේෂ්ඨ දර්ශණයක්.”