බැඳුම්කර වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කළ නොහැකියි-නීතිපති ජනපති ලේකම්ට දැනුම්දෙයි

බැඳුම්කර වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කළ නොහැකියි-නීතිපති ජනපති ලේකම්ට දැනුම්දෙයි

June 24, 2018   06:21 pm

 

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිෂන් වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධි කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබේ.

එම ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම තුළින් දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතුවලට බාධාවක් විය හැකි බව නීතිපතිවරයා පෙන්වා දී ඇත.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත ලිඛිතව නීතිපතිවරයා විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබේ.

මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ජනපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු බවට තොරතුරු පලවීමත් සමඟ එම වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබිණි.

අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නිතිපතිවරයා පෙන්වා දී ඇත්තේ කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරීමෙන් විභාග වෙමින් පවතින අපරාධ නඩු සහ සිවිල් නඩුවලට බාධාවක් විය හැකි බවයි.