අලි කළමනාකරණ රක්ෂිත එළි කර සිදුවන දේ මෙන්න

අලි කළමනාකරණ රක්ෂිත එළි කර සිදුවන දේ මෙන්න

June 18, 2018   01:08 pm

හම්බන්තොට මහවැලි කලාපයේ අලි කළමනාකරණ රක්ෂිත එළිකොට සිදුකරන සියලු වගාකටයුතු මහවැලි සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි අනුව නිතිවිරෝධි වෙයි.

එවන් පසුබිමක එහි සිදු කෙරෙන නීති විරෝධී එළිකිරීමක් අද දෙරණ උකුස්සාගේ ඇසට හසු විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධන කලාපයට අයත් යෝජිත අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශයයි එවැනි ස්ථානයකි.

මෙහි කලක පටන් මහා පරිමාණයෙන් කැලෑ හෙළි කරමින් වගාකටයුතු සිදුකරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණේ පිරිසක් විසින් කිසිදු පැකිලීමකින් තොරව මෙම හෙළි කිරීම් සිදුකර ඇති ආකාරයයි.

මේ සම්බන්ධයෙන් උකුස්සා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වුණේ  මහවැලි සංවර්ධන අධිකාරිය මඟින් මෙම මහාපරිමාණයෙන්  කැලෑ හෙළි කරමින් සිදුකරනු ලබන සියලුම වගා කටයුතු නීති විරෝධී බවයි.

එමෙන්ම අලිවැට සඳහා ඉඩම් ලබාදීමක් සිදුකර නොමැති බවද මෙහිදී අනාවරණ විය.

මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබෙන ආකාරයද එහිදී උකුස්සාට දැකගත හැකි විය.

මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුනොවීම හේතුවෙන් ගත වූ වසර දෙක තුළදී පමණක් හම්බන්තොට වගා බිම්වලට පැමිණී අලි - ඇතුන් 19 දෙනෙකු පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් මරා දමා තිබේ.

මේ ආකාරයේ මහා පරිමාණයෙන් කැලෑ හෙළි කරමින් අනවසරයෙන් වගා කටයුතු සිදු කළත් මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරින් හා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යද බිඳ දමමින් අදිසි හස්තයක් මේ පසුපස ක්‍රියාත්මක වන බවද?

එය අනාවරණ කර ගන්නා තෙක් උකුස්සා සීරුවෙන් !