ශ්‍රී ලංකන් ගුවන් යානා 6 කට ඊටොප්ස් සහතිකය නැතුව සමාගමට අමතර වියදමක් දරන්න වෙලා
June 14, 2018 07:16 pm
ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 6 කට "ඊටොප්ස්" නැමැති සහතිකය නොමැති වීම හේතුවෙන් සමාගමට විශාල අමතර වියදමක් දැරීමට සිදුව ඇති බව ශ්‍රි ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කපිතාන් රුවන් විතානගේ මහතා අද ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.
ගුවන් යානා නඩත්තු කිරීමේ දුර්වලතා හේතුවෙන් මෙලෙස ගුවන් යානා 6කට ඊටොප් සහතිකය සඳහා අව්‍යශ සුදුසුකම් සැපිරීමට නොහැකි වී ඇති බව කපිතාන් රුවන් විතානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකන් ගුවන් සේවය පසුගිය වර්ශ දෙක තුළ කුලී පදනම මත A320 සහ A321 වර්ගයේ ගුවන් යානා 6ක් මිලදී ගත් අතර එම ගුවන් යානා එන්ජින් දෙකකින් සමන්විත ගුවන් යානා බව ශ්‍රි ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කපිතාන් රුවන් විතානගේ මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.
නමුත් මේ වනවිට එම ගුවන් යානා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ලබාදෙන "ඊටොප්ස්" නැමැති සහතිකය අහිමිවී ඇති අතර ගුවන් යානා නඩත්තු කිරීමේ දුර්වලතා මෙම සහතිකය අහිමිවීම සදහා බලපා ඇති බවද කපිතාන්වරයා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර නියමයන් මත ඊටෝප්ස් සහතිකය නොමැති ගුවන් යානාවක් පියාසර කිරීමේදී සෑමවිටම අසල ඇති ගුවන්තොටුපලකට "පැයක් තුළ " ගොඩබෑමට හැකි දුරකින් පියාසර කළ යුතු නිසා ගමනාන්තයට ලඟාවිය හැකි කෙටි මාර්ග තිබියදී දිගු ගමන් මාර්ග ඔස්සේ පියාසර කිරීමට සිදුව ඇති බව ගුවන් නියමු සංසදයේ සභාපතිවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම නිසා මේ වනවිටත් පාඩු ලබමින් පවතින ශ්‍රි ලංකන් ගුවන් සමාගමට එය දැඩි බලපෑමක් එල්ලකරමින් පවතින බව කපිතාන් රුවන් විතානගේ මහතා ප්‍රකාශ කළේය.
ගුවන් යානාවල තාක්ෂණික ප්‍රමිතිය අවම වීම සිදුව ඇත්තේ නඩත්තු කිරීමේ දුර්වලතා හේතුවෙන් වීම නිසා එහි වගකීම ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා විසින් භාරගත යුතුව ඇතැයිද සාක්ෂිකරු මෙහිදී සඳහන් කළේය.