“ග‍්‍රාමශක්තියෙන් – ගම හදන ගමන” ජනපති ප‍්‍රධානත්වයෙන් පුත්තලමෙන් ඇරඹේ 

“ග‍්‍රාමශක්තියෙන් – ගම හදන ගමන” ජනපති ප‍්‍රධානත්වයෙන් පුත්තලමෙන් ඇරඹේ 

June 14, 2018   07:07 pm

 

ග‍්‍රාමීය ජනතාවගේ සංවර්ධන ගැටලුවලට විසඳුම් ලබාදෙමින්, සුවහසක් ගම් යළි නඟා සිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව, ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට සමගාමීව කි‍්‍රයාත්මක කෙරෙන “ග‍්‍රාමශක්තියෙන් ගම හදන ගමන” වැඩසටහන ඊයේ (13) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ කෙරිණි.

ගමේ ජනතාවගේ සංවර්ධන ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාදීම ගම හදන ගමන වැඩසටහන හරහා සිදු කෙරෙන අතර දීප ව්‍යාප්ත වැඩපිළිවෙළෙහි පළමු වැඩසටහන මෙලෙස පුත්තලම – මහවැව – මැදගොඩ ප‍්‍රදේශයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි ජනතාවගේ නියෝජිතයින් පිරිසක් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ ප‍්‍රාදේශීය සංවර්ධන ගැටලු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර පළාතේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසම මෙම හමුව සඳහා කැඳවා තිබූ බැවින් එම බොහොමයක් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබීය.

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින මාර්ග සංවර්ධනය පිළිබඳ ගැටලු, වැව් ප‍්‍රතිසංස්කරණය, පොහොර සහනාධාර ලබා ගැනීම ඇතුළු කෘෂිකර්ම ගැටලු මෙන්ම පානීය ජලය, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු ද මෙහිදී ජනතා නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

අදාළ අමාත්‍යවරුවන් සහ නිලධාරින් සෘජුවම අමතමින් මෙම ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ උපදෙස් දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීම සඳහා විධිමත් සහ කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

එමෙන්ම අදාළ සංවර්ධන කටයුතු නිමවන තුරු ජනාධිපති කාර්යාලය හරහා පසුවිපරමක් සිදුකිරීම ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සිදුවේ.

ජනාධිපතිතුමා මැදගොඩ ප‍්‍රදේශයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වන අතර, පසුගිය ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ඉකුත් මැයි 26 වනදා ජනාධිපතිවරයා එම ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ගංවතුරෙන් විනාශ වී තිබූ මැදගොඩ පාලම ද එහිදී ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ අතර පාලම ඉදිකර දීමට කඩිනම් පියවර ගන්නා බවට ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව දින පහක් වැනි කෙටි කාලයක් තුළ දී එම පාලම නැවත නිර්මාණය කරදීමට පියවර ගැනීම පිළිබඳව ප‍්‍රදේශවාසී ජනතාව මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමූහ.

එමෙන්ම තමන් අසළට පැමිණ තම ගැටලු සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට නිහතමානීව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී ප‍්‍රදේශවාසිහු ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදිත්වය පළ කළහ.

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.