2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වුනොත් කිසිම ගැටලුවක් නෑ
June 14, 2018 06:21 pm
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවශ්‍යතාවයක් පැනනැගුන හොත් ඒ සඳහා කිසිඳු ගැටලුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (14) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
ආර්ථිකය, සංවර්ධන, ජාතික ආරක්ෂාව ආදී සියලුම අංශවල කඩා වැටීමක් තිබෙන බවත් රාජපක්ෂවරුන්ගෙන් සහ පසුගිය ආණ්ඩුසමයේ කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ගෙන් පළිගන්නවා හැර වෙනත් කිසිඳු දෙයක් වත්මන් ආණ්ඩුව සිදු නොකරන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
වැරදිකරු කවුද නඩු දැමිය යුත්තේ කාටද සම්බන්ධයෙන් තීරණය කරන්නේ දේශපාලඥයින් විසින් සැදුම්ලත් මණ්ඩලයක් විසින් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
හොරු අල්ලන බව පවසා දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම මඟින් දූෂණය නැති කිරීමට නොහැකි බවත් දූෂණය නැති කිරීමට නම් නියම හොරුන් අල්ලාගත යුතු බවද ඒ මහතා පැවසීය.
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවශ්‍යතාවයක් පැනනැගුන හොත් ඒ සඳහා කිසිඳු ගැටලුවක් නොමැති බවත් නමුත් කවුරුන් ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ හිටපු ජනාධිපතිවරයා බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද්දක් බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීය.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව මේ වන විට අනාවරණය වී ඇති බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.