Back to Top

යශෝධ රංගේබණ්ඩාරට ඇප - රියදුරු බලපත්‍රය උසාවිය බාරයට

යශෝධ රංගේබණ්ඩාරට ඇප - රියදුරු බලපත්‍රය උසාවිය බාරයට

June 14, 2018  02:14 pm

Bookmark and Share

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාලිත රංගේබණ්ඩාර‍ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ඇප මත මුදාහැර තිබේ.

හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි පසුගිය 06 වනදා අළුයම යශෝධ රංගේබණ්ඩාර ගමන් ගත් වාරිමාර්ග අමාත්‍යංශයට අයත් කැබ් රථය නිවසකට කඩා වැදීමෙන් අනතුරක් සිදු විය.

එහිදී කැබ් රථයට සහ නිවසට හානි සිදුවූ අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි යශෝධ රංගේබණ්ඩාර පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරිම  සහ තහනම් පිහි ආඥාපනත යටතේ වරදක් සිදු කිරිම යන චෝදනා යටතේ පසුගිය 8 වැනිදා  අත්අඩංගුවට ගැනිණි.

අධිකරණය මගින් අවස්ථා දෙකකදී රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ ඇප මත මුදාහැරීමට නියෝග කළ හලාවත මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා සැකකරුගේ රියදුරු බලපත්‍රය අධිකරණ බාරයට ගැනීමට ද නියෝග කර තිබේ.

කැබ් රථය ගැටීමෙන් හානි සිදුවූ නිවස පිළිසකර කරදෙන බවට සහ  නිවසේ හානි සිදුවූ ගෘහ භාණ්ඩ ඇතුළු දේපළ ලබාදීමට පියවර ගන්නා බවට මෙහිදී යශෝධ රංගෙ බණ්ඩාරගේ පාර්ශවය අධිකරණයට දැනුම් දුන් බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.