කිතුල්උදුවේ සැරිසරන තනි අලියෙක් නිසා ප්‍රදේශවාසීන් භීතියට පත්වෙයි

කිතුල්උදුවේ සැරිසරන තනි අලියෙක් නිසා ප්‍රදේශවාසීන් භීතියට පත්වෙයි

June 13, 2018   09:03 pm

 

හබරන කිතුල්උදුව ප්‍රදේශයේ සැරිසරන තනි වන අලියෙක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියට පත්ව සිටියි.

මෙම වන අලියා නිරන්තරයෙන් ගම්වැද නිවාස හා දේපල හානි සිදුකලත් අද වන තෙක් කිසිඳු බලධාරියෙකුගේ අවධානය  යොමු නොවු බවට ඔවුන් මැසිවිලි නගයි.

හබරණ කන්තලේ මාර්ගයේ පිහිටි කිතුල් උදුව ප්‍රදේශයේ කලක සිට මෙම වන අලියා සැරිසරන අතර අවස්ථා කිහිපයකදීම ගම්වැද නිවාස හා දේපල රැසක් විනාශ කර දමා තිබේ. 

ඊයේ (12) අලුයම එකට පමණ යළි  කිතුල් උදුව ප්‍රදේශයට කඩා වැදුණු මෙම වන අලියා  ප්‍රදේශයේ නිවාස වලට දැඩි හානි සිදුකර තිබුණි.

වන අලියා පැමිණි අවස්ථාවේදීම ප්‍රදේශයේ ජනතාව වනජීවි නිලධාරීන්ට, පොලීසියට හා ග්‍රාමසේකවරයාට දුරකථනයෙන් කතාකර දැනුම්දී තිබුණත් ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පමණක් පැමිණ තමන් පිළිබඳ සොයා බැලු බවට ඔවුන් චෝදනා කරයි. 

කඩිනමින් විදුලිවැටක් හෝ ඉදිකර තම නිවාස, දේපල හා ජීවිත වන අලි තර්ජනවලින් මුදා ගන්නා ලෙසයි මෙම ප්‍රදේශවල ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.