දේශීය පලතුරු ගොවියා රැක ගන්න ආනයනික පලතුරු බදු ඉහළට

දේශීය පලතුරු ගොවියා රැක ගන්න ආනයනික පලතුරු බදු ඉහළට

June 13, 2018   05:01 pm

දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්න බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ තලවිල ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ අද (13) පෙරවරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමිනි. 

තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වූ අතර දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලූ කිහිපයක් පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. 

ජල හිඟය, විදුලිය පිළිබඳ ගැටලූ, ප‍්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිඟය සහ තම නිෂ්පාදන අළෙවි කර ගැනීමේදී මතුව තිබෙන ගැටලූ ඒ අතර ප‍්‍රමුඛ විය.

මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශයේ විදුලිබල ගැටලූවලට ස්ථීර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාවට නංවන බවයි.

අදාළ සියලූ ගැටලූවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලමින් ඒවා කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සතියත් තුළ ප‍්‍රදේශය වෙත එවීමට කටයුතු කරන බව ද  ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 

එමෙන්ම තම පළතුරු නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබිමේ ගැටලූව පිළිබඳව ද ප‍්‍රදේශයේ පලතුරු ගොවින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර පලතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.

එහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ පලතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවරයන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බවයි. 

ඒ අනුව දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ප‍්‍රදේශයේ ලූනු ගොවීන් ජනාධිපතිවරයා හමුවේ ප‍්‍රකාශ කළේ ඉදිරියේදී තම අස්වනු නෙළීම සිදුවන බැවින් ලූනු ආනයනය නිසා මතුව ඇති ගැටලූවලට ද විසඳුමක් ලබාදෙන ලෙසයි. ඒ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තලවිල ප‍්‍රදේශයේ ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම සංකේවත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය. 

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද තලවිල සූර්ය බල ව්‍යාපෘතිය ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.