ගින්නෙන් උපන් ආණ්ඩුව ගින්නෙන්ම පිච්චෙන්න හදන්නේ 

ගින්නෙන් උපන් ආණ්ඩුව ගින්නෙන්ම පිච්චෙන්න හදන්නේ 

June 13, 2018   04:09 pm

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා රට අවුලකට පත්වී ඇති බවත් ඒ සඳහා වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ නීතිය හා සාමය රකින අංශ තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කිරීමට නොහැකි වී ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සිදුවූයේ කතරගම දෙයියන්ගේ අඩවියේ පමණක් නොවන බවත් එය නීතිය හා සාමය අමාත්‍ය ධූරය දරණ අමාත්‍යවරයාගේ අඩවියේ සිදු වූවක් බවයි.

අද වන විට පාර්ලිමේන්තුව අක්‍රීය තත්ත්වයකට පත් කර ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මියගිය දමිල සටන්කාමීන්ට වන්දි ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඊයේ (12) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වාමිනාදන් මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළේය.

සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා මේ වන විට ආණ්ඩුව නීති උපදෙස් ලබාගනිමින් සිටින බවද ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ ආණ්ඩුව බලයට පත්වීම සඳහා සමාජ මාධ්‍ය ඉවහල් වූ බව ආණ්ඩුවේම පුද්ගලයින් ප්‍රකාශ කළේ බවත් අද වන විට ගින්නෙන් උපන් වත්මන් ආණ්ඩුව ගින්නටම පිලිස්සී මිය යාමට සූදානම්ව සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.