මහින්දානන්දගේ පෙත්සම යළි කැඳවීමට දින දෙයි

මහින්දානන්දගේ පෙත්සම යළි කැඳවීමට දින දෙයි

June 13, 2018   04:02 pm


තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන නඩුවක් වෙනත් විනිසුරුවරයකු වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම යළි ලබන 18 වැනිදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද(13) කැඳවූ ලැබුවේය.

මෙහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන් අධිකරනයට දන්වා සිටියේ මෙම පෙත්සම සමථයට පත්කර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව සලකා බලන බවයි.

ඒ අනුව පෙත්සම ලබන 18 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් වෙස් පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරන්ට දන්වා සිටියේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් යොදා කොළඹ, කින්සි පාරේ නිවසක් මිලදී ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගන්නා බවත් එම විභාගයේ දී විනිසුරු කුලතුංග මහතා පැමිණිල්ලට පක්ෂග්‍රාහී ආකාරයෙන් හැසිරීම නිසා තමන්ට දැඩි අගතියක් සිදුවී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් අදාළ නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයාගෙන් ඉවත් කර වෙනත් අධිකරණයක් වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර අලුත්ගමගේ මහතා අභියාචනාධිකරණයට වැඩිදුරටත් ඉල්ලා තිබේ.