දුම්රිය එන්ජින් 12 ක් හා මගී දුම්රිය මැදිරි 160 ක් මිලදී ගන්න අනුමැතිය

දුම්රිය එන්ජින් 12 ක් හා මගී දුම්රිය මැදිරි 160 ක් මිලදී ගන්න අනුමැතිය

June 13, 2018   03:12 pm

 

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී තිබිණි.

ඒ සඳහා අවශ්‍යවන ඇමරිකානු ඩොලර් මිලියන 48.67ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත පෞද්ගලික බැංකුවක් වෙතින් සපයා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලස අනුමත කර තිබේ.
 
මෙම දුම්රිය එන්ජින් මිලදී ගැනීමට යන්නේ උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් සේවා වැඩි දියුණු කිරීම සඳහා බව අගමැතිවරයා විසින් අමැති මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති යෝජනාවේ දැක් වේ.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන මගී සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මගී මැදිරි 160ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි, ඇමරිකන් ඩොලර් මිලියන 82.63ක මුදලකට එම්/එස්. රයිට්ස් ලිමිටඩ් සමාගම වෙත පිරිනැමීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.