ජීවිතය පරදුවට තැබු පොලිස් නිලධාරියා සොයා තව දුරටත් මෙහෙයුම්

ජීවිතය පරදුවට තැබු පොලිස් නිලධාරියා සොයා තව දුරටත් මෙහෙයුම්

May 26, 2018   02:48 pm

ජලයෙන් කොටුවි සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

අතුරුදහන්වී ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත්  නම් වූ 29 හැවිරිදි අයෙකි.

අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙම පොලිස් නිලධාරියා විසින් බේරා ගැනීමට උත්සහ කිරීමේ දී ඔහු මෙලෙස ගසා ගෙන ගොස් තිබේ.

ඊයේ(25) දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල් වල පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සඳහා ජලයේ පීනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන් වී ඇත.

ඊයේ දහවල් සිට ඔහු සොයා ගැනීම සඳහා නාවුක හමුදාව සහ යුද හමුදාවද මෙහෙයුමක් දියත් කර තිබේ.

අද(26) පෙරවරුවේ ගම්වාසීන් විසින් කණ්ඩායම් වශයෙන් සෑදී අතුරුදහන් වී සිටින පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අයුරු අපට දක්නට ලැබිණි.

කෙසේ නමුත් අතුරුදන් වු පොලිස් නිලධාරියා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මේ අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතාද එම ප්‍රදේශයට පැමිණියේය.

දිසා ලේකම්වරයා එහිදී කියා සිටියේ දැනට පවුල් 10,000 කට වැඩි පිරිසක පුද්ගලයින් 50,000 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින බවත්, ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත කඳවුරු 95 ක් ස්ථාපනය කර ඇති බවත්ය.

තවද ජලය සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසද දිසා ලේකම්වරයා මෙහිදී ඉල්ලීමක් කර සිටියේය.