පොලිස් කොස්තාපල්වරයා සියදිවි නසා ගත් හේතුව හෙළිවෙයි
May 26, 2018 01:26 pm
ගොකරැල්ල පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
සිය බිරිඳගේ මරණයත් සමඟ ඇතිවූ කම්පනය හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
කුරුණෑගල රිදීගම ඊරියගොල්ල ප්රදේශයේ පදිංච ව සිටි කේ.ජී.විමලත්න මහතා සේවය කළේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස ගොකරැල්ල පොලිසියට අනියුක්තවයි.
ඔහුගේ බිරිඳ ද පොලිස් කොස්තාපල්වරියක් ලෙස සේවය කළ අතර මීට වසර දෙකකට පමණ ඉහතදී සිය සැමියා පැදවූ ත්රි රෝද රථය අනතුරට ලක්වීමෙන් ඇය ආබාධිත තත්ත්වයට පත් විය.
අනතුරින් සුසුම්නාවට බරපතළ සිදුවීමත් සමඟ එතැන් පටන් ඇගේ ජීවිතය ගෙවෙන්නේ රෝද පුටුවක් මතයි.
මෙවන් පසුබිමක දොළොස් හැවිරිදි සහ සත් හැවිරිදි දියණියන් දෙදෙනාගේ මෙන්ම පස් හැවිරිදි පුංචි පුතුගේද සියලු වගකීම් විමලරත්නට තනිවම දැරීමට සිදු විය.
මෙලෙස කාලය ගෙවී යන අතරතුර ඊයේ(25) උදෑසන බිරිඳගේ අසනීප තත්ත්වය නැවත උග්රවීමත් සමඟ ඇයව රිදීගම රෝහලට ඇතුළත් කරන්නේද විමලත්න විසින්මයි.
බිරිඳ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාජකාරිය සඳහා ගොකරැල්ල පොලිසියට ගිය ඔහුට රාත්රි 7.05ට පමණ සිය බිරිඳ මියගිය බවට දැනගන්නට ලැබෙයි.
එය දැනගැනීමත් සමඟ දරා ගත නොහැකි වේදනාව මතම ඔහු දෙවරක් නොසිතාම සිය රාජකාරි ගිනි අවියෙන් ජීවිතය හානි කර ගෙන තිබේ.