අනාගතය දිනන දරුවෝ පෞරුෂත්ව පුහුණු වැඩසටහන බදුල්ලේදී

අනාගතය දිනන දරුවෝ පෞරුෂත්ව පුහුණු වැඩසටහන බදුල්ලේදී

May 23, 2018   08:41 pm

 

 

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන යටතේ ‘අනාගතය දිනන දරුවෝ’ නමින් පෞරුෂත්ව පුහුණු වැඩසටහනක්  බදුල්ල නගර ශාලාවේදී පැවැත්වූණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක්විය.

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් මෙහි විශේෂ දේශනය සිදුකරන ලද අතර, ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නවාස් ජිෆ්රි, මනෝ වෛද්‍ය චතුර අබේසුරිය යන මහත්වරුන් ද දේශන පැවැත්වූහ.

වකුගඩු රෝගයෙන් මව සහ පියා අහිමි වූ උසස් පෙළ හදාරණ දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය, වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් වෙත නිවාස ආධාර ලබාදීම, වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශවල ජනතාව සඳහා ජල පෙරණ උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී සිදු කෙරිණි.

එමෙන්ම ඌව පළාතේ ළමා නිවාස 08ක අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම  සිදුකෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පාසල් දරුවන්ට සපයනු ලබන පානීය ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත ව්‍යාපෘතිය ඌව පළාතෙන් ආරම්භ කිරීමේ එකඟතා ගිවිසුම් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා වෙත පිළිගන්වන ලදී.

ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජේරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.