රේගුවට හසුවු ලක්ෂ 8 ක දුම්වැටි රාජසන්තක කරයි-රැගෙන ආ පුද්ගලයාට ලක්ෂ 1 හමාරක දඩයක්

රේගුවට හසුවු ලක්ෂ 8 ක දුම්වැටි රාජසන්තක කරයි-රැගෙන ආ පුද්ගලයාට ලක්ෂ 1 හමාරක දඩයක්

May 16, 2018   05:58 pm

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග එක් ගුවන් මගියෙකු අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

ඔහු අද දින අලුයම 5.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්-547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (Green Chanel)ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඩුබායි හි නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 16,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 80 ක් සඟවා ගෙන තිබූ අතර, ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 08 ක් බව රේගුව ප්‍රකාශ කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.එච්.ජී.එල්.චන්ද්‍රසිරි සහ ඒ.ඒ.සී.ටී.කේ.ගුණතිලක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.පී.කිරිවත්තුඩුව මහතා මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මේවා රැගෙන ආ පුද්ගලයාට රුපියල් 1,50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.