විමල්ගේ නඩුව අගෝස්තුවේ කැඳවයි

විමල්ගේ නඩුව අගෝස්තුවේ කැඳවයි

May 16, 2018   03:42 pm

 

නීති විරෝධී ලෙස රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අගෝස්තු මස 6 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

විමල් වීරවංශ මහතා 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ  අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට රුපියල් ලක්ෂ 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇති බව සඳහන්ය.

නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩුවට අදාළ පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට අදාළ නොතීසිය විත්ති පාර්ශ්වය වෙත ලබාදී තිබුණද විත්ති පාර්ශ්වය මේ දක්වා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සාක්ෂි පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබාගැනීමට අවශ්‍යව ඇති බවයි.

ඒ සඳහා කල් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

නඩුව අගෝස්තු මස 6 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස විත්ති පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.