පොල්ගම්පල රිමාන්ඩ්

පොල්ගම්පල රිමාන්ඩ්

May 16, 2018   01:16 pm

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

2014 වසරේ උතුරු වසන්තය මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා පස් ලබාගෙන අගරු චෙක්පත් නිකුත් කර රුපියල් ලක්ෂ 89 කට ආසන්න මුදලක් වංචා කළ බවට අනුරුද්ධ පොල්ගම්පල මහතාට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධියට අදාළව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත්වරිය එදිනට ඔහු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.