තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඇවන්ගාඩ් සභාපතිගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඇවන්ගාඩ් සභාපතිගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්

May 16, 2018   12:45 pm

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස්  සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පොලිස්පතිවරයා ,රහස් පොලිසියේ නිලධාරින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර තිබෙන පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

එසේ අත්අඩංගුවට ගෙන  පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි ආඥා පනත යටතේ තමන්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමට රහස් පොලිසිය සූදානම් වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව පරීක්ෂණ සිදුකර තිබෙන ආකාරය මුළුමනින්ම අත්තනෝමතික සහ නීතියට පටහැනි බව පෙන්වා දෙන සේනාධිපති මහතා මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව ද පවසයි.

රහස් පොලිසිය මෙම පරීක්ෂණය සිදු කරන ආකාරය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් වගඋත්තරකරුවන් විසින් තමන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබේ.