ගුවන් පාලම කඩා වැටී පුද්ගලයින් 18 මරුට-පිරිසක් සුන්බුන් අතර හිරවෙලා
සයුරෙන් එතෙර

ගුවන් පාලම කඩා වැටී පුද්ගලයින් 18 මරුට-පිරිසක් සුන්බුන් අතර හිරවෙලා

May 16, 2018   12:25 pm

ඉන්දියාවේ වාරණාසි නගරයේ ඉදි කෙරෙමින් තිබූ ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පිරිසක් සුන්බුන් තුළ සිරවී සිටින බවට සැක පල කෙරෙයි.

වාරණාසි නගරයේ ඉදි කෙරෙමින් තිබූ ගුවන් පාලමේ කොන්ක්‍රීට් සැකිල්ල පහලින් පිහිටි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථ වාහන මතට කඩා වැටී තිබේ.

මෝටර් රථ හතරක්, කුඩා ප්‍රමාණයෙන් බස් රථයක් ඇතුළු වාහන කිහිපයක් ගුවන් පාලමේ සුන්බුන් වලට යටවී ඇති බව වාර්තා වෙයි.

කෙසේ නමුත් අනතුරට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.

සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයින් සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙමින් පවතින අතර ඒ සඳහා දොඹකර 7ක් උපයෝගී කරගෙන තිබේ.