මහරගමට බයිසිකලෙන් ගිය 23 දෙනාට අධිකරණයට කරුණු දක්වන්න නොතීසි

මහරගමට බයිසිකලෙන් ගිය 23 දෙනාට අධිකරණයට කරුණු දක්වන්න නොතීසි

May 16, 2018   12:01 pm

මහරගම නගර සභාව සඳහා බයිසිකලයේ ලකුණින් තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරු විසි තුන් දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.

මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එල්. චන්ද්‍රසේන පෙරේරා විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බයිසිකලය ලකුණෙන් තරග කර තේරීපත් වූ නාගරික මන්ත්‍රීවරු විසි තුන් දෙනාට සහ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු 27 දෙනෙකුට ජුනි මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කොට තේරී පත් වූ මන්ත්‍රීවරු විසිතුන්දෙනා එම නගර සභා බල ප්‍රදේශයට බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඔවුන් දිවුලපිටිය, බඩල්ගම හා කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් කරන පෙත්සම්කරු පළාත් පාලන පනතට අනුව ඔවුන්ට මහරගම නගර සභාවේ මන්ත්‍රී ධූර දැරීම සඳහා කිසිදු සුදුසු කමක් නොමැති බව අධිකරණය හමුවේ පෙන්වා දෙයි.

මෙසේ තේරී පත් වූ මන්ත්‍රීවරු නගර සභාවේ රැස්වීම් සඳහාද නිසි ලෙස සහභාගී නොවන බවත් මේ නිසා නගර සභාවේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වීමේ අවධානමක් මතුව තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නීතියට අනුව අදාළ මන්ත්‍රී ධුර දැරීමට වගඋත්තරකාර මන්ත්‍රීවරුන්ට සුදුසුකමක් නොමැති බවට තීන්දු කොට ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.