සිගීරියේ හිටිය අන්ධ අලියාට අලුත් නවාතැනක්

සිගීරියේ හිටිය අන්ධ අලියාට අලුත් නවාතැනක්

May 16, 2018   10:02 am

වෙඩි වැදීමකින් හෝ කුමන හෝ අනතුරකින් ඇස් දෙක අන්ධව සීගිරිය අභය භූමියේ සහ ගම්මානවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යෑම සඳහා සූදානම් කොට තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මාස කිහිපයක් තිස්සේ මෙම ඇස් නොපෙනෙන අලියා පිළිබඳව නිරීක්ෂණය කොට මෙම අලියා ගේ ජීවිත අවදානම නිසා වනජීවි නිලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම අලියා සීගිරි අභය භූමියෙන් රැගෙන යෑමට ඊයේ(15) රාත්‍රියේ අලියා නිර්වින්දනය කොට ගස් බැඳ බව සීගිරිය වනජීවී නිලධාරීන් කියයි.

දෑස් නොපෙනෙන නිසා මෙම අලියා මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගමන් කිරීම සහ ගස්වල හැපීම නිසා මෙන්ම මිනිසුන් විසින් වෙඩි තැබීම නිසා තුවාල රැසක් පවතින බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.

වයස අවුරුදු හතළිහක් පමණ වූ මෙම අලියා කාලයක සිට සීගිරිය ප්‍රදේශයේ සැරිසැරූ බව ප්‍රදේශවල ජනතාව පවසති. 

එමෙන්ම මෙම අලියාගෙන් කිසිදු අයකුට කරදරයක් සිදු නොවුණු බව ද  ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් අද දෙරණට පැවසීය.

ඇස් දෙක නොපෙනෙන මෙම වන අලියා අල්ලා ගස් බැඳ දමා තිබියදී බොහෝ දෙනෙකු අලියා බැලීම සඳහා එම ස්ථානයට දිව එන අයුරු සහ අලියා ආසන්නයට වී ඔහුට කෙහෙල් කොට ආහාරයට සඳහා ලබාදීම ද දැක ගැනීමට හැකියාව ලැබිණි.

වනජීවී දෙපාර්තමේන්තුවේ පසු වෛද්‍ය ඩී.එම්.ධර්මකීර්ති මහතා ඇතුළු කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශයේ රැකවල්ලා සිට නිර්වින්දනය කොට මෙම අලියා ගැට ගැසූ බව වනජීවී නිලධාරීහු පවසති. 

වන අලියා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.