සැකකටයුතු ලෙස මිය ගිය දරුවාගේ මරණ පරීක්ෂණය එයි-ඝාතනය කිරීමට සැකපිට මව හා පියා අත්අඩංගුවට

සැකකටයුතු ලෙස මිය ගිය දරුවාගේ මරණ පරීක්ෂණය එයි-ඝාතනය කිරීමට සැකපිට මව හා පියා අත්අඩංගුවට

May 16, 2018   09:19 am

වයස අවුරුදු 2 ක් වු පිරිමි දරුවෙකු සැකකටයුතු ලෙස මිය යෑම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් සිදු කළ නියෝගයක් මත පරීක්ෂණ සිදු කර තිබේ.

එහිදී මරණයට හේතුව බාහු විධ මොට ආයුධයකින් තුවාල සිදු කිරීම බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තීන්දුවක් ලබා දී ඇත.

මාලිගාවත්ත පොලිස් ස්ථානය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඊයේ(15) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ.

මාළිගාවත්ත පොලිස් වසමේ මහල් නිවාසයක සැකකටයුතු ලෙස මිය ගිය පිරිමි ළමයෙකු මරණ පරීක්ෂණයකින් තොරව අවසන් කටයුතු සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මැයි 14 වන දින සවස 5ට පමණ මහල් නිවාස, හිජ්රා මාවත, කොළඹ 10 යන ලිපිනයේ මෙම මරණය තිබී ඇති බවට මාළිගාවත්ත පොලීසියට තොරතුරක් හිමිව තිබුණි.

පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී වයස අවුරුදු 2ක් වු මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් ඉකම් නැවති පිරිමි දරුවෙකු මිය ගොස් ඇති අතර, දෙමාපියන් ප්‍රකාශ කර ඇත්තේ අධික සීනි වැඩිවීම හේතුවෙන් දරුවා මිය ගිය බවයි.

සිදු කරන ලද විමර්ශනවලදී දරුවාගේ වම් පාදයේ පිළිස්සුම් තුවාල කිහිපයක් ඇති බව දක්නට ලැබී ඇති අතර, මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් මරණ පරීක්ෂණ වාර්තාව හිමි වීමත් සමඟ මිය ගිය දරුවාගේ මව හා පියා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අද(16) දින අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාළිගාවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.