අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක්

May 16, 2018   06:53 am


බස් ගාස්තු සියයට 6 යි දශම පහයි හයකින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පල කරමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරිමට ඊයේ(15) පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි විය.

මීට අමතරව අවම බස් ගාස්තුව සංශෝධනය නොකිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පල කර ඇත.

කෙසේවෙතත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය යන සංගම් තීරණය කර ඇත.

පසුගියදා රජය ඉන්ධන මිල සංශෝධනය කිරීම හේතුවෙන් මෙම බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික බස් සංගම් පෙන්වා දෙයි.

ඒ අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව රුපියල් 15 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවට සහ බස් ගාස්තු සියයට 20 කින් වැඩි විය යුතු බව බස් සංගම් පවසයි.

එම ඉල්ලීම මුල් කර ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

මේ අතර ප්‍රමාණවත් බස් ගාස්තුවක් ලබා දෙන ලෙස රජයට බල කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට තමන්ද වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මේ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද දහවල් බස් සංගම් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය  අශෝක් අබේසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත් විය.